මෙම ඒකකය, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කාර්යභාරය යටතට ගැනෙන අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද පුද්ගලයන් සෙවීම සඳහා විමර්ශනය කිරීම සහ එම තැනැත්තන් අතුරුදහන් වූ අවස්ථානුගත කරුණු සහ ඔවුන්ගේ ඉරණම පැහැදිලි කිරීම සඳහා වගකියනු ලබයි. සැකසහිත මිනීවළවල් හැරීම සහ හෝ මෘත දේහ ගොඩගැනීම සම්බන්ධ අනෙක් කටයුතුවලදී නිරීක්ෂකයෙකු ලෙස කටයුතු කිරීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට බලය ඇත. මෙම ඒකකය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක නොවන නමුත් එහි කටයුතු අනෙක් ඒකකයන් විසින් කරගෙන යනු ලැබේ.
මෙම ඒකකය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ නීති සහ ප්‍රතිපත්ති දිශානතියට සහය දක්වයි. එය, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට එහි රාජකාරි සහ ක්‍රියාකාරීත්වයන් සිදු කිරීමට, විමර්ශන සිදු කිරීමට සහ නීතිය බලාත්මක කරන ආයතන සහ අධිකරණය සමග සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය නෛතික සහ ප්‍රතිපත්තිමය උපදෙස් ලබා දෙයි. එමෙන්ම, ඒකකය විසින් නෛතික සහ ප්‍රතිපත්තිමය ප්‍රතිසංස්කරණ, වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල හිමිකම් සහ බැඳියා
ආරක්ෂා කිරීම සහ නැවත අතුරුදහන් වීම් සිදු නොවීම තහවුරු කිරීම යනාදී ක්ෂේත්‍රයන් වෙත නිර්දේශද ලබා දෙනු ලබයි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ රීති, මාර්ගෝපදේශ, ප්‍රතිපත්ති සහ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටීන් සකස් කිරීම සම්බන්ධව ද එය වග කියනු ලබයි.
මෙම ඒකකය අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද පුද්ගලයන්ගේ පවුල් හා සම්බන්ධ වන පළමු ස්ථානය වන බැවින් ඔවුන් පිළිබඳ දත්ත වාර්තා වන බව සහතික කරයි. මෙම ඒකකය නිර්මාණය කර ඇත්තේ පවුල් සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් ලබා දීමටයි. මෙයට, පරිපාලන සහ සුබසාධන සේවා වෙත පිවිසීමට පවුල්වලට සහය වීම සහ විශේෂඥ මනෝ සමාජයීය රැකවරණය ලබා ගැනීමට යොමු කිරීම ඇතුළත් වෙයි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රතිපත්ති, ක්‍රම පද්ධති සහ උපායමාර්ග සංවර්ධනය කිරීමේදී වැඩිදුර මානසික අපහසුතා ඇති වීම වැලැක්වීම පිණිස ඒකකය විසින් මනෝසමාජයීය ප්‍රතිචාරාත්මක සහ වින්දිත කේන්ද්‍රීය එළඹුමක් ඇති කිරීම උදෙසා කටයුතු කරනු ලබයි. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන කාර්යාලයේ සහය සහිතව ප්‍රාදේශීය කාර්යාල අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන්ගේ පවුල්වල මනෝ සමාජයීය ගැටළු සම්බන්ධව කටයුතු කිරීමේ ලා සහය වන පුළුල් ජාලයක් සමග කටයුතු කරයි.
මෙම ඒකකයේ මූලික රාජකාරිය වන්නේ තර්ජන සහ පලිගැනිමට ලක්වන වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමයි. මීට අමතරව, සිදු කර ඇති පැමිණිලි සම්බන්ධ පසු විපරම් කිරීම සිදු කරන අතර අවදානමට ලක් ව ඇති වින්දිතයින් සහ සාක්ෂිකරුවන් සඳහා ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ක්‍රියාපටිපාටි සහ උපාය මාර්ගයන් සංවර්ධනය කරයි. එමෙන්ම, මෙම ඒකකය, තර්ජන සහ තැති ගැන්වීමට ලක් කළ වින්දිතයින්, සාක්ෂිකරුවන් සහ වෙනත් සහකාරකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට රාජ්‍ය සහ රාජ්‍ය නොවන සංවිධාන සමග සම්බන්ධීකරණයෙන් කටයුතු කරයි. මෙම ඒකකය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පරිශ්‍රයේ සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවද සහතික කරයි.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, තම කාර්යභාරයට අයත් වෙන අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද පුද්ගලයන් සම්බන්ධ දත්ත කේන්ද්‍රගත කළ යුතු ය. මෙම ඒකකය, පෙර පරීක්ෂණ කොමිෂන් සභා, වෙනත් රාජ්‍ය ආයතන, සිවිල් සමාජ සංවිධාන, සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වෙත ලැබුණු තොරතුරු භාවිතා කරමින් අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද පුද්ගලයන් හා සම්බන්ධ දත්ත සම්පිණ්ඩනය කරයි. එම සම්පිණ්ඩිත දත්ත පද්ධතියට නිරන්තරව නව දත්ත එක් කර යාවත් කළ හැකි අතර අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට තම කටයුතු ඵලදායී ලෙස සිදු කිරීමට මෙම දත්ත පද්ධතිය භාවිතා කළ හැකිය. උදාහරණයක් ලෙස විමර්ශන කටයුතු කිරීමට, ඵලදායී ලෙස අතුරුදහන් වීම් සම්බන්ධ සිද්ධි වලට අදාළ තොරතුරු කළමනාකරණය කිරීමට සහ අදාළ බලධරයින්ට යොමු කිරීමට හැකියාව ලැබේ.
මෙම ඒකකය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සහ එහි කාර්යයන් පිළිබඳව වඩා විශාල මහජන දැනුවත්භාවයක් සහ අවබෝධයක් ඇති කරයි. දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ලිපි ලේඛන සංවර්ධනය කිරීම, වැඩසටහන් සංවිධානය කිරීම හා සන්නිවේදන උපාය මාර්ග සංවර්ධනය කිරීම තුළින් මාධ්‍ය සහ රාජ්‍ය නිලධාරීන් ද ඇතුළුව බහු පාර්ශ්වකරුවන් සම්බන්ධ කරගැනීම හරහා අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන්ගේ හිමිකම් සම්බන්ධව අවධානය යොමු කරයි. ඒකකය විසින් අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන්ගේ පවුල්, ඔවුන් සමග කටයුතු කරන සංවිධාන සහ පුද්ගලයන් සහ පොදු ජනතාවට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ කටයුතු පිළිබඳව මනා අවබෝධයක් ලබා දීමට කටයුතු කරයි.
මෙම ඒකකය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ මානව සම්පත් සහ පරිපාලන කටයුතු කළමනාකරණය කරයි. එය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ එදිනෙදා කටයුතු, කාර්ය සම්පාදනය, මානව සම්පත්, පුහුණුව සහ කාර්යාල සහය අධීක්ෂණය කිරීමට වග කියනු ලබයි. මීට අමතරව එමගින් කාර්ය මණ්ඩලයේ සුබ සාධනය සහ සංවර්ධනය තහවුරු කරනු ලැබේ.
මෙම ඒකකය අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සියලු මූල්‍ය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් කළමනාකරණය කරනු ලැබේ. ස්ථාවර වත්කම් නඩත්තු කිරීම, අයවැය සහ ගිණුම් සකස් කිරීම සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මූල්‍ය රෙගුලාසි සමග අනුකූල වන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා මෙම ඒකකය සහය ලබාදෙයි.